ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා යන ගමන

Aramuna
3 min readJan 25, 2021

--

කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, Block Chain, ත්‍රිමාණ මුද්‍රණය (3D printing), IOT ආදී විවිධ තාක්ෂණික යෙදුම් (Jargon) අද සමාජය තුළ සුලබව යෙදෙනු දැකිය හැක. බටහිර විද්‍යාවේ සුවිශේෂී යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. මේ ලිපියේ මුඛ්‍ය අරමුණ බටහිර විද්‍යාව පමණක් උත්කර්ෂයට නැංවීම නොවන අතර, දැනට ලෝකය තුළ ආධිපත්‍යය දරන බටහිර විද්‍යා දැනුමේ විචලනයන් සාකච්ඡා කිරීමය.

මෙම දැනුම් පද්ධතිය කූටප්‍රාප්තියට එළඹෙන දශකයක් 2020–2030 තුළ උදා වේ යැයි විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. ඊලොන් මස්ක් වැනි සුප්‍රකට ව්‍යවසායකයන් අඟහරු තරණය සඳහා පිබුරුපත් අඳිති. එමෙන්ම මිනිස් මොළයට සම්බන්ධ කළ හැකි ඩිජිටල් අතුරු මුහුණතක් (Brain Computer interface) නිපදවීමටත් ඔහු පෙරමුණ ගෙන ඇත. පසුගියදා එහි සාර්ථක මූලාකෘතියක් (prototype) එළිදැක්වීම සිදු කරනු ලැබුවේය. මෙය බටහිර දැනුම් පද්ධතියේ විශිෂ්ටතම සොයාගැනීමක් වන අතර අනෙක් අතට එය මානවයාගේ විනාශය ළඟා කරවන පියවරක් ලෙස ද දැකිය හැක.

මෙම ඩිජිටල් අතුරුමුහුණත ගොඩ නැඟීමත් සමඟ අපේ මොලය සෘජුවම අන්තර්ජාලය හා සම්බන්ධ කළ හැකි වනු ඇත. කඳු වල උස, රජවරුන් රජකම් කළ යුගය, රටක ආර්ථික වර්ධනය වේගය ආදි දත්ත කටපාඩම් කළ යුගය මේ තුළින් අවසන් වේ. මිනිස් මොළයට සම්බන්ධ අන්තර්ජාලය තුලින් අපට යම් දැනුමක් අවශ්‍ය විට එය අපේ මොලයේම ගබඩා වී තිබූ දැනුමක් ලෙස භාවිතා කිරීමට අනාගතයේ දිනෙක මේ තුළින් හැකිවේ. වඩාත් මේ පිළිබඳ පැහැදිලි කරන්නේ නම් කිසිම දෙයක් කටපාඩම් කර තබා ගැනීමට තවදුරටත් අවශ්‍ය නොවන අතර අන්තර්ජාලයේ ඇති දැනුම අපේ මනසට එසැනින් ලබාගන්නට හැකිවනු ඇත.

මෙම තාක්ෂණයේ ප්‍රායෝගික භාවිතාවන් අසීමාන්තික ය. නුදුරු දිනයකදී මෙම අතුරු මුහුණත මොළයට සම්බන්ධ කරගත් මිනිසුන් හට ගුවන් ටිකට් පතක් වෙන් කිරීම, කාමරයේ විදුලි ආලෝකය දැල්වීම සිට මෝටර් රථ පාලනය දක්වා සිදු කිරීමට සිතුවිල්ලක් පමණක් ප්‍රමාණවත් වේ. අපි යමක් සිතූ පමණින්ම ඒ සිතිවිල්ල ග්‍රහණය කරගන්නා අතුරු මුහුණත අන්තර්ජාලය හා සම්බන්ධ වී ඒ කටයුත්ත සම්පූර්ණ කර ගන්නට හැකියාව ලබා දෙනු ඇත.

අනාගතයෙහි භෞතික ජෛව විද්‍යාත්මක සහ තාක්ෂණික බාධාවන් බිඳ වැටී මේ සියල්ල එකිනෙක හා සම්මිශ්‍රණය වෙනු ඇත. මේ තත්ත්වය අද ලෝකයේ හඳුන්වන්නේ හතරවෙනි කාර්මික විප්ලවය ලෙසයි.

සිව්වැනි කාර්මික විප්ලවය මානව වර්ගයාගේ වංශ කතාව වෙනස් කරවන සුවිශේෂි යුගයක් උදා කරනු ඇත.

වාෂ්ප එන්ජිම සොයා ගැනීමත් සමග ඇරඹුණු පළවෙනි කාර්මික විප්ලවයත්, විදුලිය සොයා ගැනීමෙන් ඇරඹුණු දෙවැනි කාර්මික විප්ලවයත්, පරිගණක සොයාගැනීමෙන් ඇරඹුණු තෙවැනි කාර්මික විප්ලවයත් යන සියළුම අවස්ථාවන් වලට වඩා හතරවෙනි කාර්මික විප්ලවය මානව සංහතිය ගමන වෙනස් කරනු ඇත.

මේ පිළිබඳ ගැඹුරු කතිකාවතක් ඉදිරි ලිපි වලින් ගොඩනගන්නට අදහස් කරන නිසා මේ කතාව මෙතෙකින් නවතා තබා අනාගත ලෝකයෙහි තාරුණ්‍යට උදාකරගත හැකි රැකියා අවස්ථා ගැන යම් සඳහනක් කිරීමට මේ ලිපිය තුලින් අපි බලාපොරොත්තු වෙමු.

නැවත නැවත එකම කටයුත්තක් කරන්න ට සිදුවෙන රැකියාවන් මේ යුගයේ බහුලය. උදාහරණයක් ලෙස ඔබ පුස්තකාලයක පොත් නිකුතු කරන්නෙක් ලෙස රැකියාවක නිරත වන්නේ නම් එම රැකියාවේ එකම කර්තව්‍යය ඔබට නැවත නැවත සිය දහස් වර වතාවක් කරන්නට සිදුවේ. ඔබ රජයේ කන්තෝරුවක ලිපිකරුවෙකු ලෙස කටයුතු කරන්නේ නම්, ඔබ ජීවිත කාලය පුරාම කරන්නේ එකම කටයුත්ත නැවත නැවත සිදු කිරීම පමණි.

මේ සිව්වන කාර්මික විප්ලවය බිහිවන්නේ එවන් රැකියාවන් ලෝකයෙන් තුරන් කරන්නට ය. අපි කැමති වුවත් අකමැති වුවත් කෘතිම බුද්ධිය, රොබෝ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය (Robotic Process Automation) නිසා ඇමරිකාවේ මේ වන විටත් මිලියන 5කට අධික ජනතාවට රැකියා අහිමිව තිබේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇත.

කෘතිම බුද්ධියේ දියුණුවත් සමඟ රෝග විනිශ්චය, බෙහෙත් නියම කිරීම ආදී කටයුතු පරිගණක වලින් සිදුවෙන යුගයද අත ළඟය. සමාජයට එවිට අද අවශ්‍ය තරමට බටහිර වෛද්‍යවරුන්ද අවශ්‍ය නොවනු ඇත. වෛද්‍ය වෘත්තියේ තත්ත්වයද එසේනම් කර්මාන්ත ශාලා සේවකයන් ආදී නිල් කරපටි රැකියා හෙවත් එකම දේ නැවත නැවත සිදු කරන්නට අවශ්‍ය වෙන රැකියා ගැන කවර කතාද?

ලංකාවේ පවා රොබෝවරුන් වේටර්වරුන් ලෙස යොදා ගන්නා ආපනශාලාවක් පිළිබඳ දෙරණ ප්‍රවෘත්ති වලින් අපි දුටුවෙමු. පසුගියදා සද්දන්ත ඇමතිවරයෙක් පොල් ගහක් දිගේ බඩ ගෑවේත් ප්‍රාථමික මට්ටමේ පවතින මෙවන් මූලික තාක්ෂණික මෙවලමක් භාවිතා කර ගෙනය. අනාගතයේ මේ තත්ත්වය වර්ධනය වීමක් මිස අඩු වීමක් නම් කිසිසේත් අපේක්ෂා කළ නොහැක.

දැන් රටක් ලෙස මේ තත්ත්වයට අපට මුහුණ දිය හැක්කේ කෙසේද? අනාගතයේ ලාංකීය තරුණ පරපුර කෙබදු රැකියා අවස්ථාවන් සඳහා සූදානම් කළ යුතුද?

මේ ඇතිවන තත්ත්වය මත නව රැකියා අවස්ථා බිහිවනු ඇත්තේ නවෝත්පාදනයන් සිදු කරන්නට හැකියාවක් ඇති ප්‍රජාවට ය. සරලවම සඳහන් කරන්නේ නම් අලුතෙන් හිතන්නට, අලුත් විදිහට ලෝකය දකින්නට හැකි අයට රැකියා අවස්ථා බිහි වෙනු ඇත. දැනුම මත පදනම් වූ රැකියා අවස්ථාවන් බිහි වන නිසා පවතින දැනුම උකහා ගෙන අලුත් විදිහට සිතන්නට හැකි මිනිසුන්ට රැකියා අවස්ථා බිහි වෙනු ඇත. ව්‍යවසායකයන්ට මංපෙත් පහළ වෙනු ඇත.

අදටත් අන්තර්ජාලය හා සම්බන්ධ වී කිසිවෙකුගේ ආයතනයකට සම්බන්ධ නොවී ස්වාධීන ව්‍යවසායකු ලෙස කටයුතු කරන තරුණ තරුණියන් බහුලය.

ඔවුන් අන්තර්ජාලය තුළින් ස්වකීය නිර්මාණශීලීත්වය යොදා ගනිමින් ග්‍රැෆික් නිර්මාණ කරණයේ සිට පරිගණක පද්ධති නිපදවීම සහ හැසිරවීම දක්වා වූ විට සංකීර්ණ සේවාවන් සපයමින් ස්වයං ව්‍යවසායකයන් ලෙස කටයුතු කරති.

8–5 රැකියාවකට යාමට පුරුදු වී ඇති, විශ්‍රාම වැටුපක් සහිත ස්ථිර රැකියාවක් නොතිබුනොත් ජීවිතයෙන් ඵලක් නැතැයි සිතන, හාම්පුතෙක් යටතේ ඔහුගේ උපදෙස් පරිදි ආයතනයකට වැඩ කිරීමට පුරුදු වී ඇති පැරණි පරම්පරාවට මේ තත්ත්වය අදහාගත නොහැකි දෙයක් වුවද ලෝකය අද මේ තත්ත්වයට පරිවර්තනය වෙමින් පවතී.

අනාගත ලෝකය ව්‍යවසායකයන් ගෙන් පිරී ඉතිරී යනු ඇත. ජාතිකත්වය මත පදනම් වූ ව්‍යවසායක රාජ්‍යයක් සොයා යන ගමනක් පටන් ගත්තේ නැති වුනොත් ලංකාවේ අනාගතය ද අඳුරු වනු ඇත

සංජීව අල්විස් — 2020 ජනවාරි කාලය සඟරාව

--

--

Aramuna

නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයන්ගේ ගැම්ම. A Purpose for the Creative Sri Lankan